ආදර්ශමත් කථිකාචාර්යවරයෙක්-Dr. Udaya Chinthaka Jayathilaka 

ආදර්ශමත් කථිකාචාර්යවරයෙක්-Dr. Udaya Chinthaka Jayathilaka 

Dr. Udaya Chinthaka Jayathilaka 

මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය උදය චින්තක ජයතිලක මහතා ලංකාව පුරා ඇති දුෂ්කර පාසල්වලට ගොස් පාසල්වල කුඩා දරුවන්ට ගණිත ශාස්ත්‍රය පහසුවෙන් උගන්වන අපූරු ගුරුවරයෙක් වී ඇත.

ඔහු මෙම ගමන සදහා තම මෝටර් බයිසිකලය යොදාගනු ලබයි.

කොට්ටාව විද්‍යාධාන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය උදය චින්තක පසුව මහරගම ජනාධිපති විද්‍යාලයටත්, පසුව ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ රාජකීය විද්‍යාලයටත් ඇතුළත් විය. උසස් පෙළ සමත් වුණු ඔහු ඇතුළු වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයටය.

පසුව, වැඩිදුර අධ්‍යාපනය සඳහා ටෙක්සාස් තාක්ෂණික විශ්වවිද්‍යාලයට අවතීර්ණ වුණු උදය චින්තක ආචාර්ය උපාධිය ලබාගැනීමෙන් පසුව මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරයි.

” විශ්වවිද්‍යාලයේ රුකියාව ලැබුණු කාලයේ සිටම මුලින්ම සේවයට ගියේ මගේ තාත්තගේ මෝටර් බයිසිකලයෙන්. ටික දවසකට පස්සේ මම ට්‍රේලර් බයිසිකලයක් මිලදී ගත්තා. මම සංචාරය කරන්න හරිම කැමැති කෙනෙක්. ඉඩ ලැබෙන හැම දවසකම මම ට්‍රේලර් බයිසිකලයෙන් ලංකාවේ විවිධ පැතිවල සංචාරය කළා. ඒ හැම ගමනක්ම මම තනියමයි ගියේ. ඇත්තම කිව්වොත් මුලින්ම මම බොහෝ තැන්වලට ගියේ මගේ පා පැදියෙන්. ඒකත් හරිම වෙනස් අත්දැකීම් එකතුවක් වුණා. තනියම යන ගමන හරි ලේසියි. මට ඕන තැනක නතර කරන්න පුළුවන්. මට ඕන දෙයක් කන්න පුළුවන්. හිතුණොත් මට බඩගින්නෙත් ඉන්න පුළුවන්. ඒ නිසා මේ හැම ගමනක්ම මම තනියමයි ගියේ. කැම්පස් එකටම සීමාවෙලා ඉන්න මම ආස වුණේ නැහැ. ලංකාවේ දුෂ්කර පාසල්වල දරැවන් මොන තරම් දුකක් විඳිනවාද කියල කොළඹ ඉන්න බොහෝ අයට තේරෙන්නෙ නැහැ. ඒ දරුපැටව් වෙනුවෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු අපිත් මොනයම් හෝ දෙයක් කරන්න ඕනෙ කියල මට හිතුණා. “

” වනාන්තර ගැන, ගස්වැල් ගැන අපේ රටේ අයට දිගින් දිගටම මතක් කළාට එය ක්‍රියාවේ යොදවනවා හරි අඩුයි. මම ගස්වලට හරිම ආදරෙයි. මගේ ගෙදර ඉඩ ප්‍රමාණය අනුව ගස් හිටවන්න අමාරුයි. ගහක් දැක්කාම මොකක්දෝ කැමැත්තක් මට තියෙනවා. ඒ නිසා මම යන හැම පාසලකම මම පැළයක් හිටෙව්වා. ඒ සඳහා මට ඒ හැම පාසලකින්ම ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම හිටපු පැළය බලාගන්න ඒ හැම පාසලකින්ම දරුවකු පත් කළා. කොළඹ ඉඳන් කෙනෙක් ගමට ඇවිත් ගහක් හිටවන්නේ ඇයි කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මම නැතත් දවසක ඒ ගහ ලොකු වෙලා මේ රටට සෙවණ ලබා දේවි.”

ආචාර්ය උදය චින්තක ගුණතිලක පවස යි.

මේ වන විට ඔහු මෙරට විවිධ පළාත්වල පිහිටි පාසල් තිස් හයකට පමණ තම ට්‍රේලර් වර්ගයේ බයිසිකලයෙන් ම ගොස් ගණිත විෂය උගන්වා ඇත.

තවත් පාසල් කිහිපයකට යාමට දින වෙන්කර තිබුණද, කොවිඩ් වසංගතය ඒ සියල්ලම නතර කර තිබුණි. බොහෝ දුෂ්කර පාසල්වලට  බයිසිකලයකින් උගන්වන්නට පැමිණි ඔහුට එම ප්‍රදේශවලින් ද හොඳ ප්‍රතිචාර ලැබී ඇත.

ගුරුවරු හිඟ, පහසුකම් අඩු දුෂ්කර පාසල්වලට යන උදය චින්තක ගණිතය විෂය දරැවන්ට උගන්වයි. ඔහු ගණිත සම්මන්ත්‍රණ පවත්වයි. ඒ හැම ගමනක් සඳහාම කොළඹ සිට ඔහු යන්නේ ද තම ට්‍රේලර් මෝටර් බයිසිකලයෙනි.

එසේම,ඔහු තම ඉගැන්වීම් සිදු කරන්නේ වෙනස් රටාවකටය. පාසල් දරැවන් සංඛ්‍යාව අනුව, ශාලාව අනුව මෙන්ම ඒ අවට පාසල්වල දරුවන්ගේ සහභාගීත්වය අනුව ඔහු සම්මන්ත්‍රණය පවත්වන කාලසීමාව ද වෙනස් කරයි.

පහළ පන්තිවල දරුවන්ට මෙන්ම ඉහළ පන්තිවල දරුවන්ට ද කරන දේශනවල වෙනසක් තිබේ. කුඩා දරුවන්ව ගණිත විෂයට නැඹුරැ කරලීමට ඔහු අත්වැඩ ආධාරයෙන් ගණිතය උගන්වයි. එය ඔහුටම ආවේණික වුණු ගණිත රටා අනුගමනය කරමින් ය.

කොළඹ සිට දුෂ්කර පාසල් කරා යන තම බයිසිකලයෙන් යන මෙම ගමනේදී ඔහුට නවතින්නට ස්ථිර තැනක් නැත. ඇතැම් දිනවල ඔහු තමන් යන පාසලේම රැය ගත කරයි. ඇතැම් දිනවල කුඩා හෝටල් කාමරයක නතර වෙයි. තවත් දිනවල ඔහු යන අතරමග තම කුඩා කූඩාරම අටවා එහි රුය පහන් කරයි. ඒ හැම අවස්ථාවක්ම ඔහුට හොඳට හුරැය. කුඩා කූඩාරම අසල ගිනිමැලයක් දල්වාගන්නා ඔහු කෑමට යමක් පිසගෙන ආහාරයට ගන්නා අවස්ථා ද ඒ ගෙවුණු කාලය පුරාවට අත්දැකීම් ඔහු සතු වේ.

ඒ සෑම ගමනකදීම ට්‍රේලර් බයිසිකලය පිටුපස ගැටගසාගත් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ කොටසක් තිබේ. පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ගුරැවරයකු ලෙස යන අතරතුරේදී ඔහු සංචාරකයෙක් ලෙස ද අත්දැකීම් ලබයි.

” මේ ගමන යද්දී මට දැන් ඒ වෙහෙස දැනෙන්නේ නැහැ. මට දැන් ඒ ගමන හොඳට හුරැයි. මම මගේ ට්‍රේලර් බයිසිකලයෙන් ලංකාවේ දූපත් හතරකට ගිහින් තියෙනවා. බයිසිකලය බෝට්ටුවේ පටවාගෙන ගිහින් මම ඒ දූපත් වටේ පැදලා ආයේ ඇවිත් තියෙනවා. මම හිතන විදිහට ලංකාවේ නොගිය තැනක් නැහැ. මම වැස්සට තෙමුණා. අව්වට පිච්චුණා. සමහර කාලවලදී මට විශ්වවිද්‍යාලයේ නිවාඩු ලැබෙන්නේ වැහි කාලෙදියි. ඉතින් වැස්ස ගැන හිතන්නේ නැතිව මම බයිසිකලේ පාසල්වලට යනවා. මට දැන් ඒවා පුරැදුයි. මම බයිසිකලෙන් යාපනයේ දහ පහළොස් වතාවක් පමණ ගිහින් තියෙනවා. මම ට්‍රේලර් බයිසිකලයට අමතරව යාපනේ පා පැදියෙන් පවා ගිහින් තියෙනවා. ඒකට දවස් තුනක් ගත වුණා. මුල් දවසේ මම පුත්තලමේත් දෙවැනි දවසේ වව්නියාවේත් තුන්වැනි දවසේ යාපනේත් නතර වුණා. ඒ ගමන වෙනස්ම අත්දැකීමක්. ලංකාව වටේම මම ට්‍රේලර් බයිසිකලයෙන් කිහිප වතාවක්ම සංචාරය කරලා තියෙනවා.”

ගමනකටම අවශ්‍ය වියදම්

මේ හැම ගමනකටම වැයවන මුදල ඔහු තම පෞද්ගලික ආදායමෙන් වෙන් කරගනියි. ඒ සඳහා කිසිදු අනුග්‍රාහකයකු එකතු කර ගන්නේ නැත. ඔහුගේ විශ්වවිද්‍යාල ගෝලයෝ මේ දුෂ්කර පාසල් සොයා දෙන්නට මහන්සි වෙති. මේ ගණිත සම්මන්ත්‍රණය සඳහා වැයවන මුදලට දායකත්වය ලබාදීමට අනුග්‍රාහකයන් කිහිප දෙනකු කැමැත්ත පළ කර තිබුණද, ආචාර්ය උදය චින්තක එයට කැමැති වූයේ නැත.

කලාවට ඇති හැකියාව

ඔහු ගණිතයට පමණක් ම නොව සංගීතයට ද ඉතා කැමැති කථිකාචාර්යවරයෙකි. ඔහු ප්‍රේමදාස මුදුන්කොටුව ගුරුතුමාගෙන් සංගීතය හදාරා ඇත. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විෂයක් ලෙස සංගීතය ඉගැන්වීමේ මූලිකත්වය ගනු ලැබුවේද ආචාර්ය උදය චින්තක ජයතිලකය.

විදෙස් රටවල සංචාරය

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඔහු විදෙස් රටවලට ගිය අවස්ථාවලදී ඒ රටවලද ට්‍රේලර් බයිසිකලයෙන් සංචාරය කර ඇත. ඔහු ඉන්දියාවේ දවස් දාහතරක් තුළදී කිලෝමීටර් තුන් දහසකට අධික දුරක් එරටින් කුලියට ගත් ට්‍රේලර් බයිසිකලයෙන් සංචාරය කර තිබේ. මීට අමතරව ඔහු මේ වන විට ලාඕසය, කාම්බෝජය, වියට්නාමය, නේපාලය වැනි රටවල්වලට ගොස් එහිදී මෝටර් බයිසිකලයක් කුලියට ගෙන තමන්ට හිතුණු හැටියට ඒ රටවල්වල සංචාරය කර ඇත. ඒ රටවල සංචාරය කිරීමේදී භාෂා ගැටලුවක් ද මතු වී නැත. ඔහු ඒ සදහා එම රටවලදී ඉංග්‍රීසි භාෂාව සන්නිවේදනය සදහා යොදා ගෙන ඇත.

නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වී එය නැවත  සේවයක් ලෙස යොදා ගැනීම

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් වටිනා යමක් මතු පරපුරට ඉදිරියටත් ලබාදීම ඔහුගේ බලාපොරොත්තුවය.

කොවිඩ් වසංගතයෙන් මඳ සහනයක් ලද සැණින් නැවතත් තම ගුරු – සංචාර ගමන ඇරඹීම ඔහුගේ අපේක්ෂාව වී ඇත.

කැලෑ මල් ගණිතයෙන් සුවදවත් කරමින්,ඔවුන්ගේ අනාගතය අලෝකමත් කරමින් ඔවුන්ගේ අනාගත ලොව ජයගැනීමට හේතු වන ඔහුගේ ක්‍රියාව සැමගේ පැසසුමට ද ලක් වේ.

කැලේ පිපෙන මල් කැලේම පරවීමට නොදී රැකගනිමු.

පරිත්යාගශීලී මිනිසුන්ගේ සිත්වල පටු අරමුණු නැත.

ඔවුන්ගේ එකම අරමුණ ධනය, දැනුම අනුන්ගේ හිත සුව පිණිස ලබාදී ආත්ම තෘප්තියෙන් යුතුව ජීවත්වීම පමණය.

Dr. Udaya Chinthaka Jayathilaka

He is a Senior Lecturer in Mathematics at the University of Moratuwa, has been a wonderful teacher who visits difficult schools all over Sri Lanka and easily teaches mathematics to school children.

M-Talks “Introduction to Mathematica” by Dr. Udaya Chinthaka Jayatilake

University of Moratuwa
Deapartment of mathematics
429 Views

Leave a Reply

Your email address will not be published.